Thursday, May 16, 2024

General line - 0115112241

චන්දිමාල් කපා භානුක ආවේ කොහොමද? ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ගැන ප්‍රශ්නයක්




ලකුණු අතර සිටින දිනේෂ් චන්දිමාල් පන්දුවාර 20යි 20 ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයෙන් ඉවත් කර ලකුණු අතර නොසිටින භානුක රාජපක්ෂ සංචිතයට කැඳවූයේ මන්දැයි ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන් ෆෝ ප්‍රශ්න කරනවා. ඒ, ඉන්දීය සංචාරයට නම් කළ ශ්‍රී ලංකා සංචිත සම්බන්ධයෙන් විශේෂාංග ලිපියක් පළ කරමින්.

එහි දැක්වෙන්නේ දිනේෂ් චන්දිමාල් ඉකුත් දා අවසන් වූ එල් පී එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ තුන්වන වැඩිම ලකුණු ලාභියා බවයි. ඔහුගේ සාමාන්‍ය 31යි දශම 8යි 8ක් බවද ප්‍රහාරාත්මක වේගය 126යි දශම 9යි 9ක් බවද කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අවසන් තරඟයට ගෙන ඒමට ප්‍රධාන දායකත්වයක් දැක්වූ අයෙකු බවද එම වෙබ් අඩවියේ සඳහන්. 

එහෙත් භානුක රාජපක්ෂගේ පසුගිය සමයේ පන්දුවාර 20යි 20 දක්ෂතා එතරම් යහපත් නොවන බවයි ක්‍රික්ඉන් ෆෝ වෙබ් අඩවිය පවසන්නේ. එල් පී එල් තරඟාවලියේදී භානුක රාජපක්ෂ ඉනිම 7කදී ලබා ගෙන ඇත්තේ ලකුණු 95ක් පමණක් බවද එහි සඳහන්.

ඔහුගේ සාමාන්‍ය 13යි දශම 5යි 7ක් බවද , ප්‍රහාරාත්මක වේගය 105යි දශම 5යි 5ක් බවද ක්‍රික්ඉන් ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ආන්දෝලනයක් ඇති කරමින් ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් ඉවත් කළ චාමික කරුණාරත්න ඉන්දීය තරඟාවලියට නම් කිරීම අගය කරමින්ද ක්‍රික්ඉන් ෆෝ, සිය විශේෂාංග ලිපිය නිකුත් කර තිබෙනවා.