Tuesday, May 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරඟාවලියේ ජය ඉන්දියාවට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ පැවැති තරගගය ලකුණු 91 කින් ජය ගනිමින්.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ඉන්දීය කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 228 ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර් යාදෙව් පන්දු 51 කදී නොදැවී ලකුණු 112 ක් රැස් කළා. ඊට හයේ පහර 09 ක් සහ හතරේ පහර 07 ක් ඇතුළත්. සුබ්මන් ගිල් පන්දු 36 කදී ලකුණු 46 ක් ලබා ගත්තා. ඊට හයේ පහර 03 ක් සහ හතරේ පහර 02 ක් ඇතුළත්. පන්දු යැවීමේදී දිල්ෂාන් මධුෂංක ලකුණු 55 කට කඩුළු 02 ක් දවා ගත්තා.   

ලකුණු 229 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක සබඳතාවක් ගොඩ නැගුවා. ඒ, පන්දුවාර 04 යි පන්දු 05 ක් තුළදීයි. පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුළු 09 ලකුණු 93 ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං ලකුණු 20 කට කඩුළු 03 ක් දවා ගත්තා. හර්දික් පාන්ඩයා, උම්රාන් මලික් සහ යුෂ්වේන්ද්‍ර චහාල් අතර කඩුළු 02  බැගින් බෙදී ගියා. 

තරගයේ වීරයා ලෙස සූර්යකුමාර් යාදෙව් සම්මාන හිමි කර ගත් අතර තරගාවලියේ වීරයා ලෙස අක්සා පටෙල් සම්මාන දිනා ගත්තා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය  අනිද්දා ආරම්භවීමට නියමිතයි.