Tuesday, May 7, 2024

General line - 0115112241

පකිස්තානයේ ආරථික අර්බුදයෙන් චීන ව්‍යාපෘතිවලට බාධා




පකිස්තානය මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් චීන - පකිස්තාන ආර්ථික කොරිඩෝවට අදාළ ව්‍යාපෘති සඳහා බාධා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මූල්‍ය අර්බුද හේතුවෙන් අදාළ ව්‍යාපෘති හරහා ආරම්භ කළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීම පකිස්තානය ප්‍රමාද කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම චීනය අදාළ ව්‍යාපෘති සඳහා නව අරමුදල් සම්පාදනය කිරීම ද මන්දගාමී කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීන පකිස්තාන ආර්ථික කොරිඩෝවට අනුබද්ධ ව්‍යාපෘති සඳහා බාධා එල්ල වීමට ප්‍රධාන හේතුව පකිස්තානය තුළ පවතින ආර්ථික අර්බුදය පමණක්ම නොවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කොවිඩ් ව්‍යාප්තියෙන් අනතුරුව චීනයේ ආර්ථික වර්ධනය පහත වැටීම ද අදාළ ව්‍යාපෘති මන්දගාමීවීමට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

පකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් ඉකුත්දා චීනයේ සංචාරය කළ අවස්ථාවේදී චීන රජයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6.3 ක ණය ආධාරයක් ඉල්ලා සිටියා.

එහෙත් චීන රජය මෙතෙක් එවැනි කිසිඳු ණය මුදලක් අනුමත කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.