Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ඉහළට – ඕස්ට්‍රේලියාව පහළට




වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජයගැනීමත් සමග ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත්ව සිටිනවා. මීට පෙර ඔවුන් පසුවූයේ එම ශ්‍රේණිගත කිරීමේ 7වන ස්ථානයේයි.

මේ අතර වසර කිහිපයක් තිස්සේ ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රථම ස්ථානය රැකගෙන සිටි ඕස්ටේ‍්‍රලියාවට එම ස්ථානය අහිමි වී තිබෙනවා. ඔවුන් දැන් පසුවන්නේ එහි 3 වන ස්ථානයේයි. ඉන්දියාව පළමු ස්ථානයේත්, පාකිස්තානය දෙවන ස්ථානයේත් පසුවනවා.

වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ශ‍්‍රී ලංකාව අද ජයගත්තේ ලකුණු 163 කින්. නැවත වරක් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් ලකුණු 64 කට කඩුලු 7 ක් බිඳ හෙලුවා. ඒ අනුව මෙම තරගයේදී ඔහු දවාගත් මුළු කඩුලූ සංඛ්‍යාව 13 ක් වනවා. මෙම තරගාවලියේ රංගන හේරත් බිඳ හෙලූ සමස්ථ කඩුලු සංඛ්‍යාව 28 ක්. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ද රංගන හේරත්.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියක් මෙලෙස තුනට බින්දුවක් ලෙස ජයගැනීමට සමත් වූයේ වසර 9 කට පසුව වීම තවත් විශේෂත්වයක් වනවා. මීට පෙර ඔවුන් එවැනි දක්ෂතාවක් දැක්වූයේ 2007 වසරේදී බංග්ලාදේශයට එරෙහිවයි.

මෙම ජයග‍්‍රහණයේ ගෞරවය කණ්ඩායමේ සියලූ ක‍්‍රීඩකයින්ට සහ සහායකයින්ට ද හිමිවන බව ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් පසු මාධ්‍ය වෙත කියා සිටියා. කණ්ඩායම හොඳින් ක‍්‍රීඩා කරන්නේ නම් නායකයා ද නිරායාසයෙන්ම හොඳ ප‍්‍රතිඵල ලබාගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සම්මාන ප‍්‍රදානෝත්ස්වය සඳහා ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ද සහභාගි වී සිටියා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිලංග සුමතිපාල පැවසුවේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට සුභාෂිංසන පළ කරන බවයි.  මෙම තරගය කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

 

250191.3 14009816_10210391493329990_1394957114_n 14054839_10210391179922155_1099747780_n 14074413_10210391671254438_427213433_o 14074415_10210391540851178_25603831_o