Thursday, May 2, 2024

General line - 0115112241

තලෙයිබාන් පාලනය ඇෆ්ගනිස්තානයේ සංගීත භාණ්ඩ ගිනිබත් කරයි




තලෙයිබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය තුළ සංගීත ක්ෂේත්‍රයේ නිරත වි සිටින හා එය ජීවිකාව කරගත් පිරිස් දැඩි පීඩනයකට හා අර්බුදයකට මුහුණ පා සිටිනවා.

ඒ, ඔවුන් භාවිත කරන සංගීත භාණ්ඩ ගිනි තබා විනාශ කිරීමට තලෙයිබාන් පාලකයින් විසින් නියෝග කිරීම හේතුවෙන්.

ඇෆ්ගනිස්තානයේ හේරාට් ඇතුළු ප්‍රදේශ කිහිපයකම මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

තලෙයිබාන් සංවිධානයේ මෙම තීරණයත් සමග සංගීත ක්ෂේත්‍රයේ රැකියාවල නිරත පිරිස් දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.

ඇතැම් පිරිස් තලෙයිබාන පාලනයට බියෙන් සිය රැකියාව සඳහා භාවිත කළ සංගීත භාණ්ඩ ආයුද මගින් විනාශ කරන අයුරු හා ඇතැම් පිරිස් ඒවා ගිනි තබන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එලෙස විනාශ කෙරෙන සංගීත භාණ්ඩ අතර අමෙරිකානු ඩොලර් සිය ගණනක වටිනාකමින් යුත් තබ්ලා, සර්පිනා, ගිටාර, වයලීන ඇතුළු තවත් සංගීත භාණ්ඩ රැසක් ද ඇතුළත්.

හේරාට් පළාතේ සංගීත භාණ්ඩ තලෙයිබාන් පාලකයින් විසින්ම රැස්කර ගිනි තබා තිබුණා. 

තලෙයිබාන් පාලනය යටතේ ප්‍රසිද්ධියේ සංගීත භාණ්ඩ වාදනය තහනම් කර ඇති අතර එලෙස විනෝද වීම සිය නීතියට පටහැනි බව ද තලෙයිබාන්වරුන් පවසනවා.

එමෙන්ම සංගීත භාණ්ඩ වාදනයට හුරුවීමෙන් තරුණ පිරිස් නොමග යා හැකි බවයි තලෙයිබාන් පාලනය ප්‍රකාශ කර ඇත්තේ.