Saturday, July 27, 2024

General line - 0115112241

හරක් කටාට සහය දැක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ ඥාතියෙකු අත්අඩංගුවට




නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පළා යාමට සහය පළ කළා යැයි සැක කෙරන පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ ඥාතියෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

 හරක් කටා නමැති සැකකරු පසුගිය දහවන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී් පොලිස් විශේෂ කාර්යය බලකායට අනුයුක්ත නිලධාරියෙකුගේ ගිනි අවිය පැහැර ගැනීමට තැත් කර තිබුණා.

සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්යය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවිය පැහැර ගැනීමට ඵම අවස්ථාවේ සැකකාර හරක් කටා නමැත්තා උත්සහ දරා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

 
එම අවස්ථාවේදී ඇති වූ පොර බැඳීම හේතුවෙන් තුවාල ලැබූ අදාළ පොලිස් නිලධාරියා රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ඔහුව වැසිකිළිය වෙත රැගෙන යාමට සම්බන්ධ වූ පොලිස් කොස්තාපල් මුනිපාලගේ රවිඳු සංදීප මුණසේකර නමැත්තාද මෙම සිද්ධියෙන් පසු අනතුරුව අතුරුදන්ව ඇති බවයි.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ද ඇතුළු විශේෂ විමර්ශන කණ්ඩායමක් මේ වන විටක් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.


මේ අතර, අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වේනම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.

එවැනි තොරතුරු  071 85 91 774 හෝ 071 85 94 929 යන දුරකථන අංක හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය හැකියි.

එම දුරකථන අංක නැවතත්. 071 85 91 774 , 071 85 94 929. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන මතයි.