Saturday, July 27, 2024

General line - 0115112241

ඇමති ධූරය අහිමිවු රොෂාන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් පිටව යයි




රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට භාරදී ඇත්තේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බව ජනාධිපති  කාර්යාලය පවසනවා. අද පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා තුනෙහි බවයි එම කාර්යාලය පැවසුවේ.  

අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වූ රොෂාන් රණසිංහට ජනාධිපතිවරයා විසින් ප්‍රශ්න දෙකක් යොමු කර තිබෙනවා. 

ඉන් පළමුවැන්න ලෙස ජනාධිපතිවරයා විමසා තිබුණේ ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබිදී ක්‍රිඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ක්‍රිකට් අර්බුදය විසදීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හා කතා කළේ ඇයිද යන්නයි.

දෙවෙනි පැනය ලෙස මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූවේ ඇයි ද යන්නයි.

ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කටයුතු  කිරීම ගැටළුවක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.

එම ප්‍රශ්න දෙකටම රොෂාන් රණසිංහ නිරුත්තරවීම තුළ කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ඔහුව ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය භාරදී තිබෙනවා.

කැබිනට් සාකච්ඡාවකින් පසු ඇමතිවරයෙක් සියධූරයෙන් ඉවත් කළ පළමු ජනාධිපතිවරයා ලෙස මෙය ඉතිහාසගත වනු බවයි වාර්තා වුණේ.