Thursday, May 9, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව කඩවීම ගැන ඉන්දියාවෙන් විශේෂ පරීක්ෂණයක්




ඉන්දිය පාර්ලිමේන්තුවේ ආරක්ෂාව කඩවීම සම්බන්ධයෙන් එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ පාර්ලිමේන්තුවේ සබාගර්භයට කඩා වැදී නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ සිද්ධිය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද කතාබහට ලක්වී ඇති දැඩි පසුබිමක් තුළයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරට කාන්තාවක් ද අයත්.  

ඔවුන් අවුරුදු 20 ත් 30 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අද අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු රඳවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් එවැන්නක් සිදු කළේ කුමන අරමුණකින්දැයි මෙන්ම එම සිද්ධිය පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට ඉන්දියාව මෙතෙක් සමත්වී නැහැ.

ඊයේ ඇතිවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් දැඩි විරෝධය පළකරනවා.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව කඩවීම සම්බන්ධයෙන් ඔවුන් රජයට දැඩි චෝදනා එල්ල කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර සැකකරුවන්ට පාර්ලිමේන්තුවට ඇතුලුවීම සඳහා ලබාදුන් අවසර පත්‍ර සඳහා අත්සන් කළ භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි විපක්ෂය රජයට බලපෑම් එල්ල කරන්නේ.