Thursday, May 9, 2024

General line - 0115112241

කුවේටයේ එමීර්වරයා මිය යයි




කුවේට් එමීර්වරයා වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජබර් අල් සබා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86 ක්.

එමීර්වරයාගේ අභාවය කුවේටයේ අධිකරණ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් අබ්දුල්ලා අල්-සබා විසින් රාජ්‍ය රූපවාහිනියේ ඔස්සේ නිවේදනය කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

කෙසේවෙතත් එමීර්වරයාගේ අභාවයට හේතුව කුමක්ද යන්න කුවේට් බලධාරීන් ප්‍රකාශයට පත් කර නැහැ.

එහෙත් කුවේටය දින 40 ක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අමතරව රජයේ දෙපාර්තමේන්තු දින තුනක් වසා දමන බවයි රජය නිවේදනය කර ඇත්තේ.

අභාවප්‍රාප්ත ෂෙයික් නවාෆ් කුවේටයේ එමීර්වරයා ලෙස නම් කෙරුණේ 2020 වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

ඔහුගේ අභාවය දැනුම්දීමෙන් අනතුරුව කුවේටය නව එමීර්වරයෙකු නම් කර තිබෙනවා.

ඒ අනුව කුවේටයේ නව එමීර්වරයා වන්නේ එරට ඔටුන්න හිමි කුමරු වන 83 හැවිරිදි වියේ පසුවන ෂෙයික් මේෂාල් අල් අහමඩ් අල් සබායි.