Thursday, May 9, 2024

General line - 0115112241

චීනයේ ප්‍රබල භූ කම්පනයක් (VIDEO)




චීනයට ප්‍රබල භූ කම්පනයක බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීනයේ වයඹදිග ගන්සු පළාතට ඊයේ රාත්‍රියේ එලෙස භූ කම්පනයක බලපෑම් එල්ල වී ඇති බවයි.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව එම භූ කම්පනයේ ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 5 යි දශම 9 ක්.

එහෙත් චීනයේ ෂින්හුවා ප්‍රවෘත්ති සේවය පවසන්නේ එම භූ කම්පනය මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 2 ක ප්‍රභලත්වයකින් යුතු බවයි. 

මේවනවිට වාර්තා වන තොරතුරු අනුව භූ කම්පනයෙන් පුද්ගලයින් 86 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගන්සු පළාත තුළ පමණක් තුවාල ලබා ඇති පිරිස 96 ක්. එමෙන්ම එම භූ කම්පනයේ බලපෑම චීනයේ තවත් පළාත් කිහිපයකට ද දැනී තිබෙනවා.

ගන්සු පළාතට යාබද කිංගයි පළාතේ පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති අතර 124 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද සඳහන්. 

භූ කම්පනයෙන් නිවාස රැසක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කම්පනයේ බලපෑම එල්ල වූ අවස්ථාවේ ජීවිත ආරක්ෂාව සඳහා බොහෝ පිරිසක් සිය නිවාස අතහැර වීථිවලට දිවගිය බව ද සඳහන්. ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පුද්ගලයින් මුදා ගැනීම සඳහා තවදුරටත් ජීවිත ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

භූ කම්පනයේ බලපෑම් එල්ල වූ ඇතැම් ප්‍රදේශවල විදුලිය සහ ජල සැපයුම් ද බිඳ වැටී ඇතැයි සඳහන්.