Saturday, September 21, 2024

General line - 0115112241

තොන්ඩමන් පොලිසියට කඩාපනි – පොලිසිය සමාව ගනි




නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුමුගම් තොණ්ඩමන් ඇතුළු පිරිසක් දිඹුල පොලිස් ස්ථානයට ගොස් එහි නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ඊයේ (20) පස්වරුවේ තොණ්ඩමන් මන්තී‍්‍රවරයා සහ ලංකා කම්කරු කොංග‍්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු එලෙස දිඹුල පොලිස් ස්ථානය වෙත ගොස් ඇති බවයි.

හැටන්, කොටගල නගරයේ හින්දු කෝවිලක ප‍්‍රධාන පූජකවරයෙකුට එරෙහිව දිඹුල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා. එය විභාග කිරීමට පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් අදාළ පූජකයාට අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උරණ වූ ආරුමුගම් තොණ්ඩමන් මන්තී‍්‍රවරයා ඇතුළු පිිරිස දිඹුල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට මෙලෙස තර්ජනය කර ඇති බවයි වාර්තා වුණේ.

ඕනෑම පූජකවරයෙකුට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් එම පූජකවරයා පොලීසියට ගෙන්වා ගැනීම සුදුසු නොවන බව තොණ්ඩමන් මන්තී‍්‍රවරයා ඇතුළු පිරිස පවසා තිබෙනවා. ඒ වෙනුවට පොලිස් නිලධාරීන් අදාළ පූජකවරයා හමුවට ගොස් පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතු බවයි ඔවුන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

කෙසේවෙතත් ඉන් අනතුරුව දිඹුල පොලිස් ස්ථානයේ නිලධාරීන් තොණ්ඩමන් මන්තී‍්‍රවරයාගෙන් අදාළ සිද්ධිය පිළිබඳ සමාව ඉල්ලා තිබෙනවා. එමෙන්ම පැමිණිල්ල ලැබී ඇති පූජකවරයා වෙත ගොස් ප‍්‍රකාශයක් ලබාගන්නා බවටද පොලිස් නිලධාරීන් පොරොන්දු වී ඇති බවයි වාර්තා වුණේ.