Thursday, September 19, 2024

General line - 0115112241

ආර්ථික සමෘද්ධිය හිතන තරම් ලේසි නැත - චීනයේ පාඩම




මන්දගාමී ආර්ථික වර්ධනය සහ ඉහළ විරැකියාවත්, වැටුප් පහත වැටීම, ගෙවීම් ප්‍රමාද වීම ආදි වූ ගැටළු ගණනාවක් හේතුවෙන් චීන‍ ජන ජීවිතය බලා සිටිද්දීම කණපිට හැරී ඇත. 

වැටුප් කප්පාදුව නිසා  සිවිල් සේවකයන්ට, වෛද්‍යවරුන්ට, ගුරුවරුන්ට සහ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට පවා මෙම තත්ත්වය බලපා තිබෙන බව දක්නට ලැබේ. 

විශේෂයෙන් දෛනික ජීවනෝපාය සඳහා අවශ්‍ය මුදල උපයා ගැනීමේ අරගලයක නිරත වීමට සිදු වීමෙන්  චීන ජනතාව මහත් කලකිරීමට පත්ව ඇත.

Kang Deqiang බීජිං හි පදිංචිකරුවෙකි. ඔහු මෙතෙක් කළ අලෙවිකරණ විධායක නිලධාරි රැකියාව අහිමි වීමෙන් පසු ප්‍රාදේශීය විද්‍යාල නේවාසිකාගාරයක කළමනාකරුවෙකු ලෙසත් රාත්‍රී කාලයේ කෝපි හළක  සේවය කිරීමටත් සිදු වී ඇත.  

රැකියාවන් දෙකක නිරත වූවද ඔහුට දැන් හිමි වන්නේ  මීට පෙර ලද ඉපැයූ මුදලින් 20%කට ආසන්න මුදලක් බව ඔහු පවසයි. 

“ඉහළ වැටුප් සහිත රැකියාවකට අකමැති කෙනෙක් නෑ. නමුත් ආර්ථිකය පහළට යනවා. ඒනිසා මම හොඳම විකල්පයට යොමු විය යුතුයි” යන්න ඔහුගේ අදහසයි.

චීනයේ රැකියා සඳහා බඳවා ගැනීමේ වේදිකාවක් වන Zhaopin විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව සේවකයින්ගෙන් තුනෙන් එකකට පමණ ඔවුන්ගේ වැටුප් අඩු අඩු කර තිබේ. 

වසරින් වසර අඩු වෙමින් ගොස් 2023 සිව්වන කාර්තුවේදී නගරවල සාමාන්‍ය වැටුප් 1.3% කින් හැකිලී ගොස් ඇති අතර එය 2016 න් පසු වාර්තාවන අඩුම වැටුප් සාමාන්‍යය වේ. 

එම තත්ත්වය බීජිං හි 2.7% ක් ද ගුවැන්ෂු හි 4.5% ක්ද වේ. වාර්තා වන අන්දමට ෂැංහයි සහ බීජිං හි රැකියාවකට බඳවා ගැනීමේ වැටුප් 2023 අගභාගයේදී 9%කින් සහ 6%කින් පහත වැටී ඇත.

චීනයේ වැටුප් වර්ධනයේ ක්‍රමානුකූල අඩුවීමක් සිදුවී ඇති අතර 2022 දී  එය වසර කිහිපයකට පෙර පැවති ඉලක්කම් දෙකක වර්ධනයෙන් 3.7% දක්වා එක්වරම  අඩු විය. 

2023 දී වැටුප් වර්ධනය සෘණාත්මක වීමත් සමඟ, චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය 2023 මැද භාගයේ විරැකියා අනුපාතය ඉහළ ගිය නමුත් ඒ පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් නොකරනු ඇත. 

කෙසේ නමුත් මෙයින් පැහැදිලි වන්නේ  ජනාධිපති ෂී ජින්පින්ග්ගේ “පොදු සමෘද්ධිය” ව්‍යාපාරයට අනුකූළ වීම සඳහා බැංකු විසින් 15-40% කින් වැටුප් කප්පාදු කිරීම නිසා මූල්‍ය අංශයට විශාලතම පහර එල්ල වූ බවයි.

ෂී ජින්පින්ග් රජය වැටුප් කප්පාදුව පිළිබඳ පුවත් යටපත් කිරීමට දැඩි උත්සාහයක නිරත වනු දක්නට ලැබේ. 

එහෙත්, විපතට පත් සේවකයින් නිහඬ කිරීම අපහසුය. 

 "ජියැංග්ෂිහි, වැටුප්ද  30% කින් අඩු කිරීමක් පිළිබඳ දැනුම් දී ඇති බව Liu 7 නම් පුද්ගලික සමාගමක් පවසා තිබේ. 

චීන ජනතාව ද රැකියාවලින් නෙරපීම්  සහ එකතැන පල්වෙන හෝ පහත වැටෙන වැටුප් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකාවල ඔවුන්ගේ කෝපයත් අප්‍රසාදයත් ප්‍රකාශ කරමින් සිටිති.

වැටුප් කප්පාදුවලට අමතරව, වැටුප් ප්‍රමාද වීමත් මාස ගණනක වැටුප් එකතු වීමත්  චීන කම්කරුවන් අතර කෝපයට හේතු වී තිබේ. 

ජි ෆෙන්ග් නම් දේශපාලන විචාරකයෙකු පැවසුවේ “පළාත් පාලන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ගුරුවරුන් සහ වෛද්‍යවරුන් බොහෝ දෙනෙකුට මේ වන විට වැටුප් ගෙවීමට ඇති බවයි.

ආර්ථිකය හැකිලෙමින් පවතින බව ප්‍රකාශ නොකරන බවත් පරිහානිය අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත් ඔහු සඳහන් කරයි. සේවායෝජකයන්ට අඩු වැටුප් ගෙවීමට හැකි වන පරිදි වෘත්තිකයන් වෙනුවෙන්  නවකයින් ආදේශ කරනු දක්නට ලැබේ.

මෙම ආර්ථික හැකිළීම පිළිබඳ අදහස් දක්වන ෂැංහයි හි ක්‍රීඩා සංවර්ධක ඩිං පවසන්නේ සේවයෙන් ඉවත දැමුවන්ගේ ජීවිත සැලසුම් එක්වරම විනාශ වී ඇති බවයි. 

අයහපත් ආර්ථික තත්ත්වයන් සහ වැටුප් සම්බන්ධ ගැටළු හේතුවෙන් මේ වන විට චීනය පුරා පැන නඟිමින් ඇති කම්කරු විරෝධතා පාලනයෙන් ගිලිහී යමින් තිබේ. 

මෙම තත්ත්වය හමුවේ බොහෝ වෘත්තිකයන්ගේ පැතුම Zhejiang පළාතේ සේවකයෙකු වන Zhang Chao ගේ පැතුමමය. 

"මගේ බිය අපගේ කර්මාන්තය පවතින දුෂ්කරතා පිළිබඳව නොව. මට හිමි වැටුප මට ලැබෙනු ඇතැයි පමණක් මම බලාපොරොත්තු වෙනවා. එය මගේ මෙන්ම සෑම දෙනෙකුගේම පැතුමයි" ඔහු පවසයි. 

2023 දී චීනයේ කම්කරු වැඩ වර්ජන සංඛ්‍යාව 1,700 ක් බවට වාර්තා වන අතර එය 2022 වසරේ ඇති වූ කම්කරු වර්ජන මෙන් දෙගුණයක් බව හොංකොං පදනම් කරගත් චීන පුවත් වාර්තා කරයි. 

වැටුප් කප්පාදුව මඟින්  චීන ආර්ථිකයට යහපත් ප්‍රතිඵල නම් ගෙන නොදෙන බව මේ වන විට විශේෂඥයෝ අනතුරු හඟවා අවසන්ය.

 Natixis හි  ආසියා පැසිෆික් ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Alicia Garcia Herrero පැවසුවේ " බදු සහ අවශ්‍ය වියදම් වලින් පසු පුද්ගලයෙකු හෝ නිවසක් ඉතිරි කර ඇති මුදල් ප්‍රමාණයේ ස්ථාවර වර්ධනයක් ඇති වන්නේ නම් මිස, චීනයේ පරිභෝජනය විගසින් වැඩි දියුණු වනු ඇතැයි සිතිය නොහැකි බවයි.

චීන පාරිභෝගිකයින් පරිභෝජනය අවම කර ඇත්තේ ඕනෑවට වඩා අවිනිශ්චිතතාවයකින් ඔවුන් පසුවන බැවින් බව ඔහු පෙන්වා දෙයි. 

කෙසේ වෙතත් වැටුප් කප්පාදුව සඳහා වගකිව යුතු පළාත් පාලන ආයතන විසින් මුහුණ දෙන අය-වැය ගැටලු පිළිබඳ චීනය පදනම් කරගත් ආර්ථික විද්‍යාඥයෙකු  දක්වන්නේ මෙන් අදහසකි.

 "විරැකියාව ලිහිල් කිරීම සඳහා රජයට මිනිසුන් බඳවා ගැනීමට සිදුවේ, නමුත් ඔවුන් දැන් සිටින්නේ සීමිත අයවැයක් සමඟ යි, එබැවින් වැටුප් අඩු කිරීම අත්‍යවශ්‍යයි "

මෙම උභතෝකෝටික ප්‍රශ්නය හමුවේ චීනය උත්සාහ කරන්නේ පරිභෝජනය උත්තේජනය කිරීමෙන් ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් කිරීමටයි. 

කෙසේ වෙතත්, වැටුප් කප්පාදුව දුෂ්කර වී ඇත. 

ෂැංහයි හි පිහිටි බැංකුවක ව්‍යාපාරික ප්‍රධානියා වන එසන් පෙන්වා දෙන්නේ එක් අතකින්, බලධාරීන් විසින් පරිභෝජනය වැඩි කිරීමට ජනතාව දිරිමත් කරන නමුත් අනෙක් අතට ඔවුන් වැටුප් කප්පාදුව සහ සීමාවන් ඉල්ලා සිටින බවයි.

පහත වැටෙන මිල ගණන් මධ්‍යයේ වැටුප් කපා හැරීමේ තීරණය චීන ආර්ථිකය ණය-අවධමන සර්පිලයකට (debt-deflation spiral) ඇද වැටීමට තුඩු දිය හැකිය.

භූ දේශපාලනික අවදානම් පිළිබඳ විශ්ලේෂක නීල් තොම්සන් පවසන්නේ  සෘණාත්මක වර්ධන ඉදිරි දැක්මක් හමුවේ වැටුප් කප්පාදුව හේතුවෙන් ඇති වන නොසන්සුන්තාවය වැඩි විය හැකි බවයි. 

“ප්‍රතිලාභ අඩුවීම රටේ ආර්ථික ආකෘතියේ ප්‍රතිසංස්කරණයක් සහ කම්කරුවන් සඳහා වඩා හොඳ සමාජ ආරක්ෂණයක් සඳහා විශාල පීඩනයක් ඇති කරනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.