Sunday, June 23, 2024

General line - 0115112241

එංගලන්තය සුපිරි 08 දෙනාගේ වටයට යෑම තවමත් අවදානමක




ලෝක කුසලාන තරඟාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නැමේබියා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 41ක පහසු ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් නැමේබියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

තරඟයට වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල වීම හේතුවෙන් තරඟය පන්දුවාර 10කට සීමා වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 122ක් ලබා ගත්තා.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව නැමේබියා කණ්ඩායමට පන්දුවාර 10 තුළදී හිමි වූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 126ක්.

කෙසේවෙතත් නැමේබියා කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේදී ලබා ගත හැකි වූයේ කඩුලු 03ක් දැවී ලකුණු 84ක් පමණයි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 41ක පහසු ජයක් හිමි කරගත්තද සුපිරි 08 දෙනගේ වටයට යාම පිළිබඳ තවමත් අවදානමක පසුවනවා.

එංගලන්ත කණ්ඩායමට සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නම් මේ වන විට පැවැත්වෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරඟයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයගැනීම අනිවාර්ය වනවා. 

මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ස්කොට්ලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 06ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 54ක් ලබාගෙන සිටියා.