Saturday, September 28, 2024

General line - 0115112241

මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 27,000කට ජනපතිගෙන් සින්නක්කර ඉඩම් ඔප්පු - ඩිප්ලෝමධාරීන් 252කට ගුරු පත්වීම්




සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක සුදුසුකම්ලාභීන් 27,595ක් අතුරින් පුද්ගලයන් 192ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම සිදුකෙරුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට අමතරව උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ ඉංග්‍රීසි ඩිප්ලෝමධාරීන් 252ක් වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත් මඩකලපුව සියොන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

එහිදී ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබා දෙන ලෙසටද ජනාධිපතිවරයා යුද හමුදාපතිවරයා වෙත උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.