Friday, June 28, 2024

General line - 0115112241

බංග්ලාදේශය පැරදූ ඉන්දීය කණ්ඩායමට ලකුණු 50ක පහසු ජයක්




විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 50ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසිය වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 196ක් ලබා ගත්තා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා හතරේ පහරවල් 03ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 23ක් ලබා සිටියදී ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියා.

විරාත් කෝලි පන්දු 34කදී හයේ පහරවල් 03ක් සහ එක් හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 37ක් ලබා සිටියදී ඉන්දීය කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියා.

හර්තික් පාණ්ද්‍යා නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා.

ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 50ක පහසු ජයක් හිමි වුණා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නායක නජ්මුල් හුසේන් ශාන්ටෝ පන්දු 32කදී ලකුණු 40ක් රැස් කළ අතර රිශාද් හුසේන් පන්දු 10කදී ලකුණු 24ක් ලබා ගත්තා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් ලකුණු 19කට කඩුලු 03ක් බිඳ හෙළුවා.

තරඟයේ වීරයා සම්මානය ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්තික් පාණ්ද්‍යා දිනා ගත්තා. 

ඉන්දීය කණ්ඩායම සුපිරි 08 දෙනාගේ වටයේ තමන් ක්‍රීඩා කළ පළමු තරඟ දෙක ජය ගත් අතර බංග්ලාදේශ කණ්ඩායම තමන් මුහුණ දුන් තරඟ දෙකම පරාජයට පත්ව තිබෙනවා.