Sunday, June 30, 2024

General line - 0115112241

විත්තිකරුවන් දෙදෙනෙකු රටින් පළායයි




දැඩි කතාබහක් ඇති කල 2019 වසරේ උතුරු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 196යි දශම 8ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාල නඩුවෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනා අතුරින් විත්තිකරුවන් දෙදෙනෙකු රටින් පළාගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඒ, නීතිපතිවරයා විසින් ඒ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමත් සමගයි.

අදාල විත්තිකරුවන් පස් දෙනා වරදකරුවන් කර දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනුකර තිබූණා.

එය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මේ බව දැනුම් දී තිබෙනවා.

මෙම නඩුවේ දෙවන සහ පස්වන විත්තිකරුවන් දෙදෙනා දැනටමත් රටින් පිටවී ගොස් ඇති බවයි ඇය එහිදී දැනුම් දී ඇත්තේ.

එමෙනම දෙවන විත්තිකරු වීසා කාලය ඉක්මවා රැඳී සිටිම හේතුවෙන් ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන බව ද සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර තිබෙනවා.

පස්වන විත්තිකරු 2023 වසරේ ජනවාරි මස 15 වනදා සිංගප්පුරුවට ගොස් ඇති බවට වාර්තා ලැබි තිබෙන බවයි ඇය පවසා ඇත්තේ.

මෙම විත්තිකරුවන් දෙදෙනා උදර්පන නීතිමය ක්‍රියාමාර්ග අනුගමනයකර මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බව විනිසුරු මණ්ඩලයේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව විනිසුරු මඩුල්ල පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත්තේ විදේශගතව සිටින මෙම විත්තිකරුවන් දෙදෙනා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසයි.

දැනට විදේශගතව සිටින එම විත්තිකරුවන් දෙදෙනාගේ ඇපකරුවන්ට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

මෙහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා, සොලිසිටර් ජනරාල්වරියට පෙන්වා දුන්නේ ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන විත්තිකරු පිටුවහල්කොට මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙසට යි. 

අභියාචනා පෙත්සම කැඳවූ අවස්ථාවේදී සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ මෙම නඩුවට අදාළව මහාධිකරණය විසින් නිදහස්කළ විත්තිකරුවන් පස් දෙනා අතුරින් විත්තිකරුවන් තුන් දෙනෙකුට සිතාසි භාරදී තිබෙන බවයි.

සියලු කරුණු සලකාබැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ වනවිට සිතාසි භාරදී තිබෙන විත්තිකරුවන් තුන් දෙනාටම මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙන්නැයි ඔවුන්ගේ නීතිඥවරයා වූ නීතිඥ ඉසුරු එදිරිසිංහට නියෝග කර තිබෙනවා.

ඔවුන්ට රටින් පිටවී යාමෙන් වළකන්නැයි ද දැනුම් දුන්නා.

ඉන් අනතුරුව අභියාචනා පෙත්සම් විභාගය අගෝස්තු මස 06 ට කල් කබා තිබෙනවා.

2019 වසරේ නොවැම්බර් මස 21 වනදා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් ගැඹුරු මුහුදේදී  හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරා තිබුණා.

කෙසේ වෙතත්, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, 2023 වසරේ අප්‍රේල් මස 06 වනදා අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කලා.