Monday, July 1, 2024

General line - 0115112241

බරපතළ සිරදඬුවම් නියම වූ හිරුණිකා වැලිකඩට

උදය කුමාර - එන් ඒ ඩබ් නිරෝෂන්




බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද පස්වරුවේ වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.

ඒ අනුව ඇය මේ වනවිට එම බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ තවත් රැඳවියන් පිරිසක් සමග රඳවා සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් එලෙස බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් අද නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18 කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරවරයා නියෝග කළා.

එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවකට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත් එම නියෝගයේ සඳහන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ලබාදුන් දඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥවරුන් ලබන සඳුදා අභියාචනයක් ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පැවසුවේ. 

සමගි ජනබලවේගය අද කැදවූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියා.