Monday, July 1, 2024

General line - 0115112241

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් දිවයිනට

ටී කේ ජී කපිල/




ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන “ඇන්ටනෝව් - 124” දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීවල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා ඔවුන් සතු  “එම්.අයි. - 17” වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යාම සදහායි.  

ඒ අනුව “ඇන්ටනෝව් - 124” ගුවන් යානය කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියා. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීවල නිරත වී සිටින අතර වර්තමානයේ එහි “එම්.අයි - 17” වර්ගයේ හෙලිකොප්ටර් යානා 03ක් ද එහි සේවා සඳහා යොදවා තිබෙනවා.

ඉන් එක් හෙලිකොප්ටර් යානයක අත්‍යාවශ්‍ය ප්‍රධාන නඩත්තු කටයුත්තක් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව එම යානය එරටින් ඉවත් කිරීමට පෙර      “එම්.අයි - 17” හෙලිකොප්ටර් යානයක් මෙරටින් රැගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ හමුදා භට පිරිස් ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම, හදිසි වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සදහා සහ ආහාරපාන හා භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදා තිබෙනවා.

පසුගිය 2014 වසරේ සිට මේ දක්වා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක මුදලක් උපයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.