Friday, October 18, 2024

General line - 0115112241

වසර 14ක බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පාලනය බිඳ වැටෙයිද? - ජනතා තීන්දුව අද




ලොවක් බලා සිටින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අද ආරම්භ වනවා.

අග්‍රාමාත්‍ය රිෂී සුනක්, නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මෙලෙස හදිසි මහමැතිවරණයකට මඟ පෑදුණා.

ඒ අනුව එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තයේ මිලියන 46යි දශම 5ක ඡන්ද දායකයින් මැතිවරණ කොට්ඨාස 650කදී අද ඡන්දය භාවිත කරනු ඇති.

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමට නම් ඉන් මන්ත්‍රී ආසන 326ක් දිනාගත යුතු වනවා.

ආර්ථිකය, ජීවන වියදම, රාජ්‍ය සේවා, බදු සහ සංක්‍රමණ යන ප්‍රධාන කරුණු කෙරෙහි මෙම මැතිවරණයේදී ඡන්ද දායකයින් ප්‍රධාන තීරණාත්මක කරුණු බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍යන්හි සඳහන්.

කෙසේවෙතත් මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ කොන්සවර්ටිව් පක්ෂයට නොව, විපක්ෂය වන කම්කරු පක්ෂයට බවට මේ වන විට වාර්තා පළ වෙමින් තිබෙනවා.

ඒ අනුව මෙම මහ මැතිවරණය තීරණාත්මක වී ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පාලනය පිළිබඳ ජනමත විචාරණයක් ලෙසද මෙය සැලකීම හේතුවෙන්.

1935 වසරෙන් පසු කම්කරු පක්ෂය ඉතිහාසයේ ලද දරුණුම පරාජයට ඉකුත් මහ මැතිවරණයේදී මුහුණ දුන්නා. 

එහෙත් පක්ෂ නායක වත්මන් විපක්ෂ නායක කීර් ස්ටාර්මර් යටතේ පක්ෂය යළි ගොඩනැඟී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.