Sunday, July 7, 2024

General line - 0115112241

ජනමත විචාරණයකින් තොරව ජනපතිවරණය කල් දැමිය නොහැකි බව ගම්මන්පිල කියයි




ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

කෙසේවෙතත් අතීත අත්දැකීම් අනුව මෙම පෙත්සම නොසළකා හැරිය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එහිදී කියා සිටියේ.  


එම පෙත්සමට මැදිහත්කාර පාර්ශවයක් ලෙස එක්වී එය පරාජය කිරීමට පියවර ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එහිදී පැවසුවා.


මේ අතර අදාළ පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත් කර තිබුණා. 

එහි දැක්වෙන්නේ පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවයි. 

එමෙන්ම ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසුවේ මැතිවරණ කල් දැමීමෙන් ආණ්ඩුවට අත් වන වාසියක් නොමැති බවයි.