Sunday, October 6, 2024

General line - 0115112241

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් කැනඩාවට පනින්න හැදු තරුණයෙකු අත්අඩංගුවට

ටී කේ ජී කපිල




ව්‍යාජ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර කටුනායක ගුවන් තොටුපොළින් කැනඩාව බලා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙක්.

එම තරුණයා සෞදි අරාබියේ දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් - 263 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එතැන් සිට වෙනත් ගුවන් යානයකින් කැනඩාව බලා යාමට ඔහු සැළසුම් කර තිබූ බවයි නෙත් නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

අදාළ තරුණායා පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන බලධාරින් විසින් ඔහුගේ ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී එම ගමන් බලපත්‍රය කැනඩාවේ වීසා බලපත්‍ර හිමි වෙනත් ශ්‍රී ලාංකිකයෙකුගේ ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

අදාළ තරුණයා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 18ක මුදලක් ලබා දී එම ව්‍යාජ ගමන් බලපත්‍රය සකස් කර ගත් බවයි. 

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී සැබෑ ගමන් බලපත්‍රය, ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක්, ව්‍යාජ ඩුබායි නේවාසික වීසා බලපත්‍රයක් සහ ව්‍යාජ විගමන මුද්‍රාවක් ද සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් එම තරුණයා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.