Sunday, July 7, 2024

General line - 0115112241

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමේ නියෝගයක්

උදය කුමාර




වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

අදාළ නියෝගය නිකුත් කළේ ගාමිණී අමරසේකර,  කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් තීන්දුවේ සඳහන් වුණා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය අගෝස්තු මස 28 වනදා කැඳවීමට ද විනිසුරු මඩුල්ල නියම කළා.

වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා නිකුත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ආගර පතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබුණා. 

ඒ පිළිබඳව විභාගයක් සිදුකළ අභියාචනාධිකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙමින් වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කළ නමුත් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළේ නැහැ. 

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් කම්කරු අමාත්‍යවරයා විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අදාළ වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේ ඉන් අනතුරුවයි.