Sunday, September 8, 2024

General line - 0115112241

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ අභිනව පිහිනුම් තටාකය සිසු අයිතියට




රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන  දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සඳහා අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත  පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද  (13) එක් වෙමිනි. 

පසුගිය ආර්ථික හා දේශපාලන බිඳ වැටීම හමුවේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි දේශපාලන කණ්ඩායමක් රට තුළ නිර්මාණය වූ බවත්, වසර 05කට බලය ලබා ගන්නේ කෙසේද කියා සහ පවතින ආණ්ඩුව පෙරළන්නේ කෙසේද කියා සිතන දේශපාලන ක්‍රමය වෙනුවට ජාතික මට්ටමින් සිතා කටයුතු කළ හැකි දේශපාලන ක්‍රමයක් ඉදිරියට ද රටට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. 

සමරු ඵලකය නිරාවරණය කර අභිනව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා සිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.  

පිහිණුම් තටාකය පිහිටි භූමිය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට පවරාදීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

2023 වසරේ අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ  ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතික හා තිළිණපත් ලබා දීමට ද ජනාධිපතිවරයා එක් වුණා.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ආදී සිසුන් විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් රුපියල් 10,000ක මුදල විදුහල්පති පර්සි මහනාම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.