Tuesday, September 17, 2024

General line - 0115112241

තැපැල් ඡන්ද පත්‍රිකාවක් සමාජ මාධ්‍යයට මුදා හැරීම ගැන පොලිසිය විමර්ශන අරඹයි




ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද දිනයේ ද සිදු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට අද දිනය විශේෂ දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ.

ඒ අනුව පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා නිවසින් නිවසට ගොස් තැපැල් සේවකයන් විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරින බවද ඔහු කියා සිටියා. 

මේ අතර සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිෂන් සභාව සිදුකල පැමිණිල්ලකට අනුවයි.

එලෙස සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් හෝ එය ප්‍රදර්ශනය කිරීම මැතිවරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.