Sunday, September 8, 2024

General line - 0115112241

බංග්ලාදේශයට ඇඳිරි නීතිය - විරෝධතාවලින් 105 ක් මරුට 




දෙසතියක පමණ කාලයක සිට  පැවති සිසු විරෝධතා හේතුවෙන් බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

1971 නිදහස් සටනේ නියමුවන් යුද විරුවන් ලෙස සලකමින් ඔවුන්ගේ දරුවන්ට රජයේ රැකියා ලබාදීමේදී ප්‍රමුඛත්වය දීමේ කෝටා ක්‍රමවේදයට විරෝධය පළ කරමින් බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කර ගනිමින් රජයට එරෙහිව සිසු විරෝධතා ආරම්භ විය 

මේ සඳහා 2018 දී  කෝටා ක්‍රමවේදය නීති විරෝධී බවට බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබුණත් මහාධිකරණ තීන්දුවක් පදනම් කරගනිමින් එය යළි පණගැන්වීමට රජය උත්සාහ කරමින් සිටින බවයි ඔවුන් පවසන්නේ

දෙසතියක පමණ කාලයක පැවති  විරෝධතා අතරතුර මේ වන විට පුද්ගලයින් 105කට වැඩි දෙනෙකු මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා තිබෙනවා.

රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමටද රජය පියවර ගෙන ඇති අතර රටපුරා අන්තර්ජාල සබඳතා මෙන්ම දුරකථන සබඳතාද අවහිර කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කලහකාරීව හැසිරෙන විරෝධතාකරුවන් රජයේ රූපවාහිනී නාලිකාවට ගිනි තබා තිබූ අතර මේ වනවිට එරට සියලු ම රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකා විකාශය අත්හිටුවා තිබෙනවා.

මේ වන විට ශිෂ්‍ය විරෝධතාකරුවන් මධ්‍යම බංග්ලාදේශයේ නර්සින්ඩි දිස්ත්‍රික්කයේ බන්ධනාගාරයකට කඩා වැදී ඇති අතර ඊට පෙර රැඳවියන්  වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රෝහල්වලින් ලද තොරතුරු අනුව මේ දක්වා වාර්තා වූ මරණවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට හේතුව පොලිස් වෙඩි තැබීම බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ