Saturday, September 21, 2024

General line - 0115112241

නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ කොමිසම සියලු පාර්ශවවලින් සහය ඉල්ලයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා සහය ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඇතුළු සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කළා.

ජනාධිපතිවරණය සඳහා අදාළ වන නීති අද සිට ක්‍රියාත්මක කරන බවද මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවා.

මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහි ගන්නා ක්‍රියාමාර්ගද දැඩි කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ.

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට අදාළ  ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15 වන දින සිදු කෙරෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා අද සිට අගෝස්තු 14වනදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

ඒ අනුව ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන්  ඇප මුදල් තැන්පත් කිරීම අද සිදු කෙරුණා. ඒ, ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා ඇතුළු නීතිඥ පිරිසක් විසින්.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් පළමුව තැන්පත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන්. 

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්නද අද ඇප මුදල් තැන්පත් කළා.  

මේ අතර ජනාධිපතිවරණයට අදාළව රජයේ මුද්‍රණාලය සහ තැපැල් දෙපාර්තමේන්තුව අද සිට සිය රාජකාරී ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවා.