Friday, September 13, 2024

General line - 0115112241

විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන අයට විශේෂ දැනුම් දීමක්




විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් එලෙස කටයුතු කරන බවයි.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මඟින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමත් ප්‍රදානය කර ඇති බවයි නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ සමාගමෙන්ම එම ඇණවුමෙහි කොටසක් ලෙස සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර තිබෙනවා.

එම ගමන් බලපත්‍ර තොගය ඔක්තෝම්බර් මස අවසානය හෝ ඊට පෙර දිවයිනට ළඟාවීමට නියමිතයි.

එබැවින් අත්‍යවශ්‍ය හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.