Friday, September 20, 2024

General line - 0115112241

දෙහිවලත් වෙඩිතැබීමක් - පුද්ගලයෙකු මරුට




දෙහිවල, කඩවත පාරේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද උදෑසන 06යි 40ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්‍ෂණ රෝහට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “යකා සමන්ත” නැමැත්තාගේ ඥාතියෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

කළුබෝවිල සහ බඩෝවිට ප්‍රදේශවලදී ඉකුත්දා වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිවලට පළිගැනීමක් ලෙස බඩෝවිට අසංකගේ පාර්ශවයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.

මේ අතර මිදිගම, ගොවියාපාන පාලම අසලදි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ, සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් අහංගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුලුගහ සහ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. 

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 500ක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් ඊයේ දිනයේ ගොවියාපාන ප්‍රදේශයේ මත්ස්‍ය වෙළඳසැළක් තුළදී එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කර තිබුණා. 

වෙඩි තැබීමෙන් වෙළඳසැළට පැමිණි සිටි තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි පොලීසිය පැවසුවේ.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.