Sunday, October 6, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට ජනපතිගෙන් පොරොන්දුවක්




පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා පැවසුවේ කඩිනමින් පරීක්ෂණ කටයුතු අවසන් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකස් කරන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදු කළා.


එම අවස්ථාවට එක්වූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකල පර්යේෂණ කිසිදු විනීතභාවයකින් සිදු නොවුනු බවයි. 


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පර්යේෂනයක් සිදුකර ඊට සම්බන්ධ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.