Tuesday, November 26, 2024

General line - 0115112241

වැසි තත්ත්වය තවදුරටත් - ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 150ට වැඩි තද වැසි




දිවයින ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ත් 50ත් පමණ තද සුළංද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.