Friday, October 11, 2024

General line - 0115112241

කෙහෙළියගේ පෙත්සමක් ඉල්ලා අස් කර ගනී

උදය කුමාර




හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධියට අදාළව ඔහු ගොනු කළ පෙත්සමයි.

මෙම පෙත්සම වැඩ බලන අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවා දායකයා මේවන විට ඇපමත මුදාහැර තිබෙන හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දී තිබෙනවා.