Friday, October 11, 2024

General line - 0115112241

අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි




උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇතිවිය හැකියි. ඒ අනුව අකුණු සහ තද සුළං මගින් සිදු වන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ. 

මේ අතර ඉදිරි පැය 48ක කාලය තුළ කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගඟේ පහත් බිම් ප්‍රදේශවලට එලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි. 

ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නැයි එම ප්‍රදේශවල පදිංචි මහ ජනතාව සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරනගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අධ්‍යක්‍ෂ එස් පී සී සුගීෂ්වර මහතා ඉල්ලීමක් ද කළා.

මේ අතර අත්තනගලුඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඇහැළුණු වැසි හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාගය තුළ ගම්පහ, දිවුලපිටිය ඇතුළු ඒ අවට පහත් බිම් කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.