Tuesday, November 26, 2024

General line - 0115112241

ගංගා පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි - පුද්ගලයින් 22,000ක් පීඩාවේ




පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පවුල් 5,348ක පුද්ගලයින් 22,064 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පවුල් 24ක පුද්ගලයින් සුරක්‍ෂිත මධ්‍යස්ථාන 04ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.  

ජලගැලීම්, අධික සුළං, අකුණු, කණ්ඩි කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස 120කට අර්ධ හානි සිදුව තිබෙනවා. 

මේ අතර පානදුර, අඟුරුවාතොට මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හල්තොට බෝධිය අසළ ජලය පිරී තිබූ කුඹුරකට වැටී මියගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

කඩුවෙල, වැලිහිඳ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඇළකට වැටී අතුරුදන්ව තිබෙනවා.

එමෙන්ම මීගොඩ ප්‍රදේශයේදී ජල පහරකට හසුවූ පුද්ගලයන් තිදෙනෙකු මුදා ගත් බවයි හංවැල්ල පොලීසිය පැවසුවේ. 

කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මේ වන විටත් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ ඉංජිනේරු සුගීෂ්වර මහතා පැවසුවා. 

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලුඔය සහ උරුවල්ඔය යන ද්‍රෝණි දෙකෙහි පහත් බිම් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

එම පහත් බිම් ප්‍රදේශවල සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වය මත කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම සම්පූර්ණයෙන් නතර කළ බව පොලීසිය පවසනවා. 

එමෙන්ම කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබා දී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ගංවතුර හේතුවෙන් වසා දමා තිබූ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. 

කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සහන කටයුතු සඳහා නාවික හමුදා කණ්ඩායම් 04ක් යෙදවීමටද සූදානම් කර තිබෙනවා.

හදිසි අවස්ථාවන්වලදී 117 අංකය අමතා දැනුම් දෙන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ. 

මේ අතර, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල අද දිනයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ. 

පුත්තලම සිට කොළඹ, ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර කටයුතුවල නිරත නොවන ලෙසද ධීවරයින්ගෙන් ඔහු ඉල්ලීමක්ද කළා. 

අද පෙරවරු 06න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය  එරත්න ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එහි අගය මිලි මීටර් 164ක්. ඉංගිරිය ප්‍රදේශයෙන් 161ක් සහ බුලත්සිංහල ප්‍රදේශයෙන් මිලි මීටර් 156ක් වාර්තා වී තිබෙනවා.