Tuesday, November 26, 2024

General line - 0115112241

විපතට පත් වූවන්ට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්




අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

එමෙන්ම ගංවතුර සහ නාය යාම්වලට ලක්ව ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශය ලේකම්වරයා වෙත දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

සහන සේවා කටයුතු කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා. 

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී ජනතාවට එම සහන ලබා ගත හැකියි.

එතෙක් පරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස්  ලබාදී තිබෙනවා.

අදාළ සහන නිසි පරිදි ජනතාව අතට පත් කිරීමට මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙනවා.