Tuesday, November 26, 2024

General line - 0115112241

 නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ




දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත  ඇදහැලෙන  අධික වර්ෂාපතනය හේතුවෙන්, පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා  නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායම් හයක් (06) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින්  කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අධික වැසි හේතුවෙන් අත්තනගලු ඔය සහ කැළණි ගඟ  පිටාර ගැලීමෙන්  කඩුවෙල, බියගම සහ ඉහළගම යන ප්‍රදේශ ආශ්‍රිත පහත්බිම් ගංවතුරෙන් යටවීම හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන්, එම ප්‍රදේශ  වෙත මෙලෙස ගංවතුර ආපදා සහන කණ්ඩායම් හයක්  (06) ස්ථානගත කෙරුණු අතර, ඊයේ එම සහන කණ්ඩායම මඟින් ගංවතුර සහන මෙහෙයුම් සිදුකෙරිණි.

 තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා බටහිර නාවික විධානය තුල අමතර ආපදා සහන කණ්ඩායම් විසි හතරක් (24), දකුණු නාවික විධානය තුල  නවයක් (09) සහ වයඹ නාවික විධානය තුල එකොලහක් (11) වශයෙන් අමතර ආපදා සහන කණ්ඩායම් හතලිස් හතරක් (44)  නාවික හමුදාව සූදානමින් තබා තිබෙනවා.