Sunday, January 5, 2025

General line - 0115112241

අමෙරිකාව සලිත කළ ට්‍රක් රථ අනතුර ත්‍රස්ත ප්‍රහාරයක්




අමෙරිකාවේ ඕර්ලින්ස් නගරයේ බර්බන් වීදියේදී ජනතාව අතරට ට්‍රක් රථයක් කඩාවැදීමෙන් සිදු වූ අනතුර, ත්‍රස්ත ප්‍රහාරයක් බව එරට බලධාරීන් පවසනවා. 

එෆ් බී අයි ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට හෙළි වී ඇති කරුණු මත මෙම අනතුර ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන ආරම්භ කර ඇති බවයි. 

ඊට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ අනතුර සිදු කළ ට්‍රක් රථයේ තිබී අයි එස් අයි එස් ධජයක් සොයා ගැනීමයි.

එමෙන්ම එහි පුපුරන ද්‍රව්‍ය තිබී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ප්‍රහාරයට පෙර ට්‍රක් රථය පැදවූ රියදුරු සමාජ මාධ්‍යට වීඩියෝවක්ද මුදා හැර තිබෙනවා. 

එහි දැක්වෙන්නේ තමා අයි එස් අයි එස් සංවිධානයෙන් ආභාෂයක් ලැබූ බවයි. 

ජනතාව ඝාතනය කිරීමේ ආශාවෙන් පෙළෙන බවද ඔහු එහිදී පවසා තිබෙනවා. 

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා 42 හැවිරිදි ශම්සුඩ් ඩීන් ජබ්බාර් නම් වූ අමෙරිකානු පුරවැසියෙකු බවටයි දැන් හඳුනාගෙන ඇත්තේ.

හමුදා සේවයේ අත්දැකීම් ඇති ඔහු අනතුරෙන් පසු පොලීසිය සමග ඇති වූ වෙඩි පහරින් ජීවිතක්‍ෂයට පත් වුණා.  

නව වසර උදාවේදී අමෙරිකාවම සලිත කල මෙම ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් වූ සංඛ්‍යාව මේ වන විට 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

තුවාල ලබා ඇති සංඛ්‍යාව 35ක්.