Friday, January 10, 2025

General line - 0115112241

අමෙරිකාවේ ලැව්ගින්න හොලිවුඩ් පුරවරයටත් පැතිරෙයි




අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව්ගිනි තත්ත්වය ලෝකප්‍රකට හොලිවුඩ් කඳු ආශ්‍රිත ප්‍රදේශයට පැතිර යන තත්ත්වයක් මතුව තිබෙනවා.    

මේ වන විටත් හොලිවුඩ් කඳු ප්‍රදේශයේ අක්කර 20ක් ගින්නට හසුව ඇති බවයි ලොජ් ඇන්ජලිස් ගිනි නිවන දෙපාර්තමෙන්තුව පැවසුවේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොස් ඇන්ජලීස්හි වඩාත් ප්‍රසිද්ධ ප්‍රදේශයක් වන රන්යොන් කැනියොන් උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයට ද ලැව්ගින්න පැතිර ගොස් ඇති බවයි.

පවතින තත්ත්වය සලකා ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා නිවේදනය කිරීමේ නිල උත්සවය ද කල් දැමීමටයි බලධාරින්ට සිදුව ඇත්තේ. 

ලොස් ඇන්ජලීස්හි පිහිටි පාසල් දෙකක් ද ගින්නට හසුව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. 

පවතින තත්ත්වය සලකා සියලු පාසල් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. 

මේ වන විට නිකුත් වී ඇති වාර්තාවලට අනුව ලැව්ගින්න හේතුවෙන් දකුණුදිග කැලිෆෝනියාහි ලක්ෂ 03කට අධික පිරිසකට විදුලි බලය අහිමි වී ඇතැයි සඳහන්. 

බලපෑමට පත්ව ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 13,000කට අධිකයි.
 

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ලැව්ගින්න හේතුවෙන් පුද්ගල මරණ පහක් වාර්තා වනවා. 

පුද්ගලයින් ලක්ෂකයට අධික පිරිසකට උන්හිටි තැන් අහිමිවී තිබෙනවා. 

විනාශ වී ඇති භූමි ප්‍රමාණය අක්කර 26,000කට අධිකයි. 

ලොස් ඇන්ජලිස් ඉතිහාසයේ දරුණුතම ව්‍යවසනය මෙය වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.