උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අජිත් විජේමාන්න මහතා.
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50ත් 60ත් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ.
මේ අතර අධික වර්ෂාව හමුවේ උල්හිටිය, රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් විවෘත කර තිබෙනවා.
ඒ අනුව පිටවානේ සියලුම දොරටු විවෘත කර ඇති බවයි ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා පැවසුවේ.
මාපාකඩ කාර්ය භාර ඉංජිනේරුවරයාගේ උපදෙස් පරිදි, රත්කිඳ ජලාශයේ ජල මට්ටම පිරිසැපයුම් මට්ටම ඉක්මවා ගොස් ඇති බැවින් එය නියමිත මට්ටමේ පවත්වා ගැනීම සඳහා මෙලෙස ජල පාලන දොරටු විවෘත කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ජලාශයට පහළින් පිහිටි රත්කිඳ - ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ කොටසක් ද පිටවානේ දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.
ජලාශය භාර නිලධාරීවරයා සඳහන් කළේ ඉදිරි පැය කිහිපය තුළදී ඇද හැලෙන වර්ෂාව අනුව ජල පාලන දොරටු විවෘත කරන ප්‍රමාණයන් ද වෙනස් විය හැකි බවයි.
මේ අතර රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අද විවෘත කර තිබෙනවා. එම වාන් දොරටු අඩි දෙක බැගින් විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම වාන් දොරටු දෙක තුළින් තත්ත්පරයට ඝන අඩි 1,200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.