Thursday, January 23, 2025

General line - 0115112241

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමේ නියෝගයකට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි




අමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. 

දෙවන වරටත් අමෙරිකානු ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ක්‍රියාව ලෙස බයින්ඩ් පරිපාලනයේ විධායක ක්‍රියාමාර්ග 78ක් අවලංගු කිරීමේ විධායක නියෝගයකට අත්සන් තැබුණා.

එම විධායක නියෝග අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ නියෝගයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

කොවිඩ් වසංගතය වැරදි ලෙස හැසිර වූ බවට චෝදනා කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ පොරොන්දුවක් ලබාදී තිබුණා. 

මෙම තීරණය අනුව අමෙරිකා එක්සත් ජනපදය මාස 12කින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට නියමිත අතර එම සංවිධානය සඳහා ලබාදෙන මූල්‍ය දායකත්වයන් ද නවතා දමනු ඇති. 

සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන්නේ ද අමෙරිකාවයි.

මේ අතර ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීම සඳහා ගෙන තිබූ තීරණයක් ද අත්හිටුවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

2020 වසරේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිලි නොගෙන කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුනු කැරලිකරුවන් 1,600කට ආසන්න පිරිසකට සමාවදීමේ නියෝගයට ද ට්‍රම්ප් අත්සන් තබා ඇතැයි සඳහන්.

දේශගුණික විපර්යාස පිළිබඳව පැරිස් සම්මුතියෙන් ඉවත් වීමද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තවත් ආන්දෝලනාත්මක තීරණයක්. 

අමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. 

මත්ද්‍රව්‍ය මාෆියාකරුවන් අන්තර්ජාතික ත්‍රස්තවාදීන් ලෙසටයි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දී ඇත්තේ.