අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් තීරණාත්මක තීන්දු කිහිපයක් ගෙන තිබෙනවා.
ඒ අතරින් මේ වන විට කතාබහට ලක්ව ඇති තීරණයක් වන්නේ චීන නිෂ්පාදිත භාණ්ඩ ආනයනය සඳහා සියයට 10ක තීරුබදු පැනවීමේ තීරණයයි.
මෙම තීරණය පෙබරවාරි 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සලකා බලමින් සිටින බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.
කෙසේවෙතත් මැතිවරණ ප්රචාරක සමයේදී ට්‍රම්ප් පොරොන්දු වුණේ චීන භාණ්ඩ සඳහා සියයට 60ක් දක්වා ඉහළ තීරු බදු පනවන බවටයි.
එමෙන්ම මෙක්සිකෝව සහ කැනඩාව මත සියයට 25ක ආනයන බදු අය කරන බවට ද ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
ඒ, නීතිවිරෝධී සංක්‍රමණිකයින් සහ මත්ද්‍රව්‍ය අමෙරිකාවේ පැමිණීමට ඉඩ දෙන බවට චෝදනා කරමින්. එමෙන්ම යුරෝපා සංගමයට තීරු බදු පැනවීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
චීනයට වඩා යුරෝපීය සංගමය අමෙරිකාවට ඉතා අයහපත් බවයි ඔහු පවසා ඇත්තේ.
නමුත් බොහෝ ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි පියවර හේතුවෙන් අමෙරිකාවේ භාණ්ඩ මිල ඉහළ යා හැකි බවයි.
කැනඩාව, චීනය සහ මෙක්සිකෝව යනු අමෙරිකාවේ ඉහළම වෙළඳ හවුල්කරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත් ආන්දෝලනාත්මක තීන්දුවක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ඒ, 2021 වසරේ සිදුවූ කැපිටල් කෝලාහලය සම්බන්ධයෙන් සිරගත කර සිටි ඉහළ පෙළේ සිරකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමේ තීරණයයි.
එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ 1,600 කට ආසන්න සංඛ්‍යාවකට සමාව ලබා දීමට ට්‍රම්ප් තීරණය කර තිබුණා.
2020 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ඩොලන්ඩ් ට්‍රම්ප් පරාජයට පත් වීමෙන් පසු අමෙරිකාවේ වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ල ආශ්‍රිතව දැඩි විරෝධතා මතු වුණා.
පසුව ට්‍රම්ප් හිතවාදීන් පිරිසක් 2021 වසරේ ජනවාරි 06 වනදා කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වී ඊට පහර දුන්නා.
එය ලොව පුරා දැඩි කතාබහක් ඇති කළ සිද්ධියක් බවට පත් වුණේ ඊට උදව් උපකාර කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ටද චෝදනා එල්ල වීමත් සමගයි.