Thursday, January 23, 2025

General line - 0115112241

ඊ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට ටෙන්ඩර් ලබා දීමට එරෙහිව ගොනුකළ පෙත්සම විභාගයට දින නියම කෙරේ

උදය කුමාර




ඉකුත් රජය සමයේ ඊ  විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම සඳහා ලබාදුන් ටෙන්ඩරයට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමක් විභාගය සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. 

ඒ එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

පෙත්සම ඉදිරිපත් කළ එපික් ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙය හදිසි නඩු කටයුත්තක් බැවින් විභාගය සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසයි. 

එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයෙකු සඳහන් කළේ තමන්ට වැඩිදුර විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙසටයි. 

ඒ අනුව වැඩිදුර විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු මස 19 වනදා පැවැත්වීමට දින නියම කළා.