Thursday, January 23, 2025

General line - 0115112241

නාමල් කුමාර තවදුරටත් රිමාන්ඩ්

උදය කුමාර




ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාමල් කුමාර නැමැත්තා තවදුරටත් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

ඒ, අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් නාමල් කුමාර නැමැත්තා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරු විසින්, තහනම් කරන ලද කොටි සංවිධානයේ ධජ, සංකේත හා නිල ඇඳුම් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රදර්ශනය කර ඇති බවයි. 

මේ තුළින් ජාතීන් අතර පවතින සමගිය උල්ලංඝනය වන තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් එම නිලධාරීන් පැවසුවා.

එම සමාජ මාධ්‍ය ගිණුම් මෙම සැකකරු විසින්ම පවත්වාගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී කරුණු ආරාවරණය වී තිබෙන බවද පොලිසිය සඳහන් කර සිටියා. 

එසේම මෙම සැකකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීම් කළා. 

එම ඉල්ලීම් පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙසයි බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ.