Thursday, January 23, 2025

General line - 0115112241

අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් හතර දෙනාට ඇප

උදය කුමාර




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කළේ දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි. 

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට වාර්තා කළ යුතු බවටත් සැකකරුවන්ට නියෝග කළා.

ඊට අමතරව සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කර සිටියා. 

ඒ අනුව අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර තිබූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ධම්මිකා ශිරාණි සුමනරත්න, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස්. අමරසේකර සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කළ අනුර සෙනෙවිරත්න යන සැකකරුවන් එලෙස ඇප මත මුදා හැරීමට නියම කෙරුණා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කියා සිටියේ 2014 වසරේ දෙසැම්බර් මස බිංගිරිය සහ නාරම්මල ප්‍රදේශවල ගංවතුර ඇතිවූ අවස්ථාවේදී ඉන් පීඩාවට පත් වූ පුද්ගලයින්ට බෙදා දීම සඳහා සතොස ආයතනයෙන් රුපියල් හැට එක් ලක්ෂ 46,110ක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය ලබාගෙන පීඩාවට පත් වූවන්ට බෙදා නොදී වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කළ බවයි. 

සැකකාර හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ ධම්මිකා ශිරාණි සුමනරත්න නමැත්තිය 2014 වසරේ දෙසැම්බර් 26 වනදා සතොස ආයතනයට ලිපියක් යොමු කරමින් ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 2,500කට සහන ලබාදීම සඳහා වියළි ආහාර ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කරන බව ලිපියකින් දැනුම් දී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී කියා සිටියා. 

ඒ අනුව සතොස ආයතනය විසින් අදාළ භාණ්ඩ තොග පන්නල ප්‍රදේශයේ පිහිටි සැකකාර හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන මෙහෙයුම් කාර්යාලයට ගොස් භාරදී ඇති අතර ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කළ සැකකාර අනුර සෙනෙවිරත්න නමැත්තා එම භාණ්ඩ භාරගෙන තිබෙන බවත් පොලිසිය එහිදී පැවසුවා. 

මෙම භාණ්ඩවලට අදාළව සතොස ආයතනය විසින් නිකුත් කළ බිල්පත් හතරක ගැනුම්කරු ලෙස අනුර ප්‍රියදර්ශන යාපා යනුවෙන් සඳහන්ව තිබූ බව පැවසූ පොලිසිය ඉන් අනතුරුව තවත් බිල්පත් හතරක් සකස් කර ඇති බවත් ඒවායේ ගැනුම්කරු ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෙස නම් යොදා තිබූ බවත් සඳහන් කර සිටියා.

මෙම භාණ්ඩ තොග ලබා ගත් කාලවකවානුවේ ජනාධිපතිවරණයක් පැවැති බැවින් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා මෙම භාණ්ඩ යොදා ගන්නට ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලීසිය එහිදී ප්‍රකාශ කළා. 

ඒ අනුව මෙම භාණ්ඩ සැකකරුවන් විසින් ගංවතුරින් පීඩාවට පත් වූවන්ට බෙදා දී තිබේදැයි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලීසිය අධිකරණ හමුවේ කියා සිටියේ. 

එහෙත් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බෙදා දුන් භාණ්ඩ හැරුණු කොට කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් හෝ පෞද්ගලික පාර්ශවයක් විසින් අගතියට පත් වූවන්ට භාණ්ඩ බෙදා දුන් බවට එම ප්‍රකාශවලින් කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකොට ඊට අදාළ උදෘත 2015 වසරේ ඔක්තෝම්බර් මස 26වනදා නීතිපතිවරයා වෙත යොමු කළ බවත් නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් එම නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

ඒ අනුව මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මෙහිදී සැකකාර හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ 2015 වසරේ අනීතික ලෙස ස්ථාපිත කළ දූෂණ විරෝධී කමිටුවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කෙරුනු බවයි. 

මෙම නඩුකරයට අදාළ මුල් බී වාර්තාව 2015 වසරේ මැයි මස 05 වනදා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම බී වාර්තාවේ සැකකරුවන් නම් කර නොතිබූ අතර පොදු දේපළ පනත යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහළ නිලධාරියෙකු විසින් ඉදිරිපත් කළ යුතු සහතිකයද ඉදිරිපත් කර නොතිබූ බවත් ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම අදාළ භාණ්ඩ තොග බෙදාහැරීම සඳහා සැකකාර හිටපු අමාත්‍යවරයා අනුමැතිය දුන් බව හෝ නිර්දේශයක් සිදුකළ බවට හෝ භාණ්ඩ භාරගත් බවට කිසිදු තොරතුරක් විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා. 

මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ වූයේ මීට වසර දහයකට පමණ ඉහත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා විමර්ශන අවසන් කොට වසර දහයකට පමණ ඉහතදී පොලිසිය විසින් උදෘත නීතිපතිවරයා වෙත භාරදී තිබෙන බවත් පෙන්වා දුන්නා. 

එසේනම් සැකකරුවන් සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිසිය වසර දහයක් වැනි දීර්ඝ කාලයක් ගත කළේ ඇයිදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඇති නිසා සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස පොලිසිය විසින් ඉල්ලා සිටින්නේ ඇයිදැයි විමසීමක් කළා.

සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද අධිකරණය හමුවේ ඇප ඉල්ලීම් ඉදිරිපත් කළා. 

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම විමර්ශනය සඳහා වසර 10ක් වැනි දීර්ඝ කාලයක් ගත වුනේ ඇයි දැයි ප්‍රශ්න කර සිටියා. 

මුල් බී වාර්තාවේ සැකකරුවන් කිසිවෙකු නම් කර නොතිබූ අතර පොදු දේපළ පනත යටතේ වූ සහතිකයක්ද ඉදිරිපත් කර නොතිබූ බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට කරුණු පෙන්වා දුන්නා.

ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකරුවන්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි. 

ඒ අනුව විමර්ශන සඳහා වසර 10ක  දීර්ඝ කාලයක් ගත වී තිබීම, සැකකරුවන් නම් කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවීම සහ සැකකරුවන්ට ඇප ලබා දුනහොත් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බවට කරුණු ඉදිරිපත් නොකිරීම යන කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුවන්ට ඇප නියම කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියා. 

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල මැයි මස 06 වනදා කැඳවීමටත් නියම කෙරුණා.