Friday, January 31, 2025

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපළේ දූෂිත නිලධාරීන් ගැන ඇමති බිමල් බැලුම්ගලට කතා කරයි




ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් ගුවන් මගීන්ගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස තමන් මහජන ආරක්ෂාව පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාටද දැනුම්දුන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේ සේවයේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන් සිදුකරන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන මගින් ඉකුත් සඳුදා කරුණු අනාවරණ කළා. 

ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ සිටින ඇතැම් නිලධාරීන් ගුවන් මගීන්ගෙන් අල්ලස් ලෙස විදේශීය මත්පැන් බෝතල් සහ චොක්ලට් පාර්සල් ලබා ගන්නා බවයි එහිදී අනාවරණ කෙරුණේ.

එම අනාවරණය පිළිබඳ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන තමන් ශ්‍රවණය කළ බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.

ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන්ගේ මෙවැනි හැසිරීම් සම්බන්ධයෙන් තමන්ටද පුද්ගලික අත්දැකීමක් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන මගින් කළ මෙම  අනාවරණයෙන් පසුව ආරම්භ වූ විමර්ශනයට අනුව එම ක්‍රියාවට සම්බන්ධ නිලධාරියෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි  දඬුවම් ස්ථානමාරුවක් ලබාදී තිබෙනවා. 

ඒ වැඩබලන ආගමන විගමන පාලක ජෙනරාල්වරියගේ උපදෙස් අනුවයි. තවද මින් ඉදිරියට මෙවන් කටයුතු සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීමටද ඇය උපදෙස් ලබාදී අති බවයි වාර්තා වුනේ.  

පසුගිය දෙසැම්බර් මස 31වනදා ස්විස්ටර්ලන්තයේ සිට වසර 25කට පසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුගෙන් ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ සිටි නිලධාරීන් විදෙස් මත්පැන් බෝතල් දෙකක් අල්ලස් ලෙස ලබාගෙන තිබුණා.

ඔහු යලිත් ශ්‍රී ලංකාවෙන් පිටවූ පසුගිය ජනවාරි දෙවනිදාද එලෙසම ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ සිටි නිලධාරීන් විදෙස් මත්පැන් බෝතල් දෙකක් සහ චොක්ලට් පාර්සලයක්ද ලබාගත් බව සාක්ෂි සහිතව බැලුම්ගල වැඩසටහන මගින් අනාවරණය කළා.