පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් ගොනු කර තිබෙන එම පෙත්සම අද මායාදුන්නේ කොරයා සහ ඒම්. ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය නිලධාරියකු බවයි.
එම පෙත්සම තුළින් තම සේවාදායකයාට එරෙහිව අතුරු තහනම් නියෝග කීපයක් ඉල්ලා තිබෙන බැවින් ඊට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක බරන් මහතා සඳහන් කළේ හදිසි නඩු කටයුත්තක් සේ සලකා එම පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා ආසන්න දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 28 වනදාට පෙර ගොනුකරන ලෙස වගඋත්තර කරුවන්ට නියෝග කළ අධිකරණය ඊට අදාළ ප්රතිවිරෝධතා වේ නම් ඒවා මාර්තු මස 30 වනදාට පෙර ගොනුකරන ලෙස නියෝග කලා.
ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 14 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.
රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයේ නිරතව සිට ඉන් ඉවත් නොවී ඉකුත් මහ මැතිවරණයට තරග කිරීම තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව ඔහුට මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බවත් පෙත්සම්කරු කියා සිටියා.
ඒ අනුව අදාළ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.