Monday, February 3, 2025

General line - 0115112241

මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට




දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඒ අතර කාන්තාවක් ද සිටින බවයි. 

කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇය ඇතුළු පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ගමන් ගත් ත්‍රීරෝද රථය ඉදිරියෙන් ධාවනය වූ බස් රථයක ගැටීමෙන්. 

අනතුරෙන් තුවාල ලැබූ ත්‍රීරෝද රථය පැදවූ ඇයගේ සැමියා දියණියන් දෙදෙනෙකු හා තවත් තරුණියක් මාතර හා තංගල්ල රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.
 

මේ අතර අලව්ව - නාරම්මල මාර්ගයේ ගනේකන්ද හන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. 

අලව්ව දෙස සිට නාරම්මල දෙසට ධාවන වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී එම අනතුර සිදුව තිබෙනවා. 

අනතුරෙන් තුවාල ලැබූ එම පදිකයා සහ යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා අලව්ව රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ. 

පදිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඔහු අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.
 

හෝමාගම, වලව්ව හන්දිය ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ තවත් පදිකයෙකු අනතුරකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

පොලිසිය පැවසුවේ හෝමාගම දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදිකයාගේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
 

මේ අතර අරණායක, අඹදෙණියවත්ත සහ පමුණුගම, එපාමුල්ල ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් ද පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.