Tuesday, February 4, 2025

General line - 0115112241

77 වන නිදහස අභිමානයෙන් සැමරේ




77 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රය අභියසදී අද පෙරවරුවේ අභිමානවත් අයුරින් පැවැත් වුණා. 

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරින්, තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. 

උදෑසන 08.00ට පමණ නිදහස් උළෙල සඳහා ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. 

එහිදී වෙනදා මෙන් අශ්වාරෝහකයින් පෙරටු කර ගනිමින් ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ නැහැ. යුද හමුදා යතුරු පැදි තුනක් පමණක් ජනාධිපතිවරයා පෙරටු කර ගනිමින් උත්සව භූමිය වෙත පැමිණීම විශේෂත්වයක්.

ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය සිංහල බසින් ගායනය කරමින් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කෙරුණා.

පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ “දේවෝ වස්සතු කාලේන” ආශිර්වාදාත්මක ගාථා ඉදිරිපත් කිරීම ඉන් අනතුරුව සිදු කෙරුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමුණේ ඉන් අනතුරුවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය ඇමතීම ඉන් අනතුරුව සිදු කෙරුණා.

77 වන නිදහස් උළෙලේ හමුදා පෙළපාලිය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. 

යුද, ගුවන්, නාවික හමුදා මෙන්ම පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයන් එම පෙළපාලියට එක්ව සිටියා. 

කෙසේවෙතත් වෙනදා නිදහස් පෙළපාලියේ දැකිය හැකි සන්නද්ධ රථ මෙවර පෙළපාලියට එක්කර තිබුණේ නැහැ. 

ආචාර පෙළපාලියෙන් අනතුරුව විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් ද නිදහස් උළෙල වර්ණවත් වුණා.

77 වන නිදහස් දින ජාතික සැමරුම් උළෙල නිමාවට පත් වුණේ ජාතික ගීය දෙමළ බසින් ගැයීමෙන් අනතුරුවයි.