Thursday, February 6, 2025

General line - 0115112241

ආරක්‍ෂාව ඉල්ලූ මහින්දගේ පෙත්සම කැඳවන්න දින දෙයි

උදය කුමාර




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක  සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. 

ඒ, මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බවයි. 

ඊට අමතරව මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට අවසර ලබා දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවශ්‍යතාවයක් වේ නම් පෙත්සම්කාර පාර්ශවයට ද ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බවත් සඳහන් කළා. 

පෙත්සම කැඳ වූ අවස්ථාවේදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, කිසිදු ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන්නා. 

ඔහුගේ ආරක්ෂාව අඩු කිරීම හෝ වැඩි කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ විධිමත් ආරක්ෂක ඇගයීමකින් පසුව බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා. 

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාල පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා. 

මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කර තිබෙන පෙත්සමේ සඳහන් කර තිබෙන්නේ නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව  සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කෙරුණු බවයි. 

මේ වන විට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බවද මහින්ද රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා. 

දශක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජන වලට මුහුණපා සිටින අයෙකු වන අතර තම ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ.

අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව තමන්ට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අයැද  සිටිනවා. 

එමෙන්ම මේ වන විට ඉවත් කර තිබෙන තමන්ට සපයා දී තිබූ සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබාදෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ආරක්ෂක ලේකම්වරයා,  පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.