Thursday, February 13, 2025

General line - 0115112241

යළිත් සහල් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

නිරෝෂන් කොළඹ 




මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට යළි සහල් අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ජාතික ගොවිජන එකමුතුව පවසනවා. 

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේ එළඹෙන මාස් කන්නයේදී අපේක්‍ෂිත වී අස්වැන්න ඉතිහාසයේ අඩුම අගයක් ගනු ඇති බවයි.  

පවතින දත්ත සැලකීමේදී ඔක්තෝබර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා සහල් හිඟයක් ඇතිවිය හැකි බවයි ඔහු පැවසුවේ. 

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේ පවතින අවදානම සලකා යළ කන්නයේ වී වගාව සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. 

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ මෙතෙක් වගා නොකළ කුඹුරු මෙවර කන්නයේදී වගා කරනු ඇති බවයි. 

එසේ වීම හරහා මහ කන්නයේ ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වය සමනය වනු ඇති බවයි ඔහු කියා සිටියේ.