Thursday, February 13, 2025

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් වන්දි අයකර ගැනීමේ සිද්ධියේ රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට

උදය කුමාර




එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට හිමි විය යුතු  වන්දි අය කර ගැනීමේ කටයුතුවලදී විදේශීය රක්ෂණ සමාගමක් විසින් කිසියම් පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා දුන්නේ යැයි කියන සිද්ධිය  සම්බන්ධයෙන් එවක අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව සිදු කර ඇති විමර්ශනවල රහසිගත වාර්තාවක් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. 

එම විමර්ශන සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

එම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත් වූවන්ට වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ධීවර ප්‍රජාව ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා. 

මෙම පෙත්සම් විභාගයට ගැනුණේ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

මෙම නඩුව මීට පෙර විභාගයට අවස්ථාවේදී  පෙත්සම්කාර ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මෙනවිය ඇතුළු නීතිඥවරුන් කරුණු දක්වමින් මෙම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව මෙරටට අය විය යුතු  වන්දි මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලියේදී  විදේශීය රක්ෂණ සමාගමක් විසින්  යම් පුද්ගලයකුට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා දී ඇති බවට අනාවරණය වී ඇති කරුණ පිළිබඳ විමර්ශනය කරන ලෙස එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දී තිබුණා.

මීට අදාළව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබු බවත් නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කළා. 

මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් වී තිබෙන බවත් නඩු විභාගයේදී කරුණු අනාවරණය වුණා.

එම කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම කරුණු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවලට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන  ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර  නියෝග කර තිබුණා. 

ඒ අනුවයි මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

අද පෙත්සම් විභාගය පැවැති අවස්ථාවේදී සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළා. 

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන බ්‍රහස්පතින්දා දක්වා කල් තැබුණා.